Wednesday, December 10, 2014

පීපීගේ කතා





පිප්පිලොට්ටා ලෝන්ස්ටොකින් කියන්නේ ස්වීඩන්වල හිටපු  ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන් කියන  නැන්ද ලියපු  පොතක ප්‍රධාන  චරිතේ.පිප්පිලොට්ටා  පොඩි  කෙල්ලෙක්  මේ  මං  වාගේම. හැබැයි  එයාට  අම්මා තාත්තා නෑ. අම්ම එයා පොඩි කාලෙම  දිව්‍යලෝකේ  ගිහිල්ලා, තාත්තා නැව් කප්පිත්තෙක්.තිස්සෙම  මුහුදේ. පස්සේ එයා  කළුම කළු  දුපතක රජ්ජුරුවෝ උනා. ඉතින් තාත්තටත් නිතරම මුහුදේ ඉන්න උන නිසා පිප්පි විලේකුලා ගෙදර තනියෙන්ම  තමයි ජිවත් වුණේ.තනියම  කිව්වට තනියෙන්ම නෙවෙයි. එයාගේ  රිලවා නිල්සන් මහත්තයයි, අස්සයයි එක්ක. අපි වාගේ පොඩි ළමයින්ට තියෙන ලොකුම හීනයක්  තමයි තනියේම ගෙදරක තමන්ට  ඕන දේ විතරක් කර කර කැමති කෑම බීම කකා කැමති වෙලාවට නිදාගන්න ඇඳට යන්න පුළුවන් ජිවිතයක් ලැබෙන එක.පිප්පිට මේ ඔක්කොම තිබ්බා. රෑට නිදාගන්න ඇදට යන්න කියල එයාට කියාගන්නේ එයාමයි.අපිට වාගේ වේවැලෙන් දෙකක් දීල බත් පිඟානම ගිල්ලවන්න කවුරුත් නෑ. එයාට කැමති කෑම විතරයි එයා කන්නේ. ඒ විතරක්ද. එයාට යකෙකුට වගේ හයිය හත්තිය. එයාට පුළුවන් එයාගේ අස්සයව තනි අතින් උස්සන්න. එක පාරක් ළමයෙක් ගෙදරක තනියෙම ඉන්නේ මොකද බලන්න ආපු පොලිස් මාමල දෙන්නෙකුට එයා ආයේ පැත්ත පළාතේ නොයෙන්න වැඩේ දුන්නා.ඒ කිව්වේ එයාලට පොල්ලක් අරන් ගැහුවා නෙවේ.(ඕන්නං එයට එහෙම කරන්නත් තිබ්බා) එයා කළේ පොලිස් මාමලට හති වැටෙන කල් එයාව අල්ලගන්න එහෙමෙහෙ දුවන්න සිද්ද කරපු එක. අන්තිමේ එයාල යන්න ගියා.
                                                                   
                                                     

පිප්පිලොට්ටා ළඟ තිබ්බනේ රන්කාසි පුරෝපු පෙට්ටගමකුත්.කවදාවත් ඒකෙ සල්ලි ඉවරවෙන්නෙත් නෑ.අනේ එහෙමත් වාසනාවන්ත ජිවිතයක්. අපිට නං රන්කාසි තියා අම්මගෙන් රුපියල් දහයක් ඉල්ලගන්න කොච්චර පින්සෙන්ඩු වෙන්ඩ වෙනවද. ඉතින් අපි වාගේ ළමයින්ට පිප්පිලොට්ටා වීරවරියක් වෙන එක අහන්න දෙයක් නෙවේනේ. තව එකක්, ඔයාලා හිතනවා ඇති මේ වගේ හයිය හත්තිය තියෙන, තමන්ට ඕනේ විදියට හැදෙන ළමයෙක් නපුරු ආත්මාර්ථකාමී එක්කෙනෙක් කියල. අපෝ නෑ. එයා හරිම කරුණාවන්ත, හිත උණු වෙන එක්කෙනෙක්.හැබැයි උද්දච්ච මෝඩ ලොකු අයට නං එයා හොඳ හොඳ පාඩම් උගන්නනවා. හිනා වෙලා පණ යනවා එයා කරන වැඩ.


ඔයාල දැන් හිතනව ඇති මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ පිප්පිලොට්ටගේ වැඩ ගැන කියන්න කියල. අපෝ නෑ. මං ලියන්න යන්නේ මගේ කතා. ලොකු අය විතරක් බ්ලොග් ලියන්නේ ඇයි කියල මට නං තේරෙන්නේ නෑ. එයාලට වඩා පොඩි අයට කොච්චර නං කතා තියෙනවද කියන්ඩ. පිප්පිලොට්ට මගේ වීරවරිය නිසා එයාගේ නම කොපි කරලා ටිකක් කොට කරලා මගේ නම හදාගත්තා.දැන් මං ඉස්සරහට මගේ කතා ලියනවා.ළමයින්ගේ ලෝකේ දකින්න කැමති ලොකු අය ඉන්නවා නං ඇවිදිල්ල කියවන්න කියල ආරාධනා කරනවා. මාමලා නැන්දලා පුංචි පිපීට උපදෙසක් අවවාදයක් දෙන්න ඕනේ නං දුන්නත් කමක් නෑ ඒ වෙලාවට.


දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ.........ආයි ආයි ආපි ඔන්න සෙල්ලන් කාලේ...........